NVQ දීමනාව ඉහලට

2021 වසරේ ජනවාරි 01 සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ට වැටුප් වැඩිකිරිමට සමගාමීව ආධුනිකත්ව පුහුණුලාභීන් (NVQ ) සහෝදරයින්ටද ඔවුන්ගේ දෛනික දීමනාව ඉහල දැමිය යුතුය යන ස්ථාවරයේ සිට අප සංගමය ඔවුන් වෙනුවෙන් ඒ මොහොතේ සිට පෙනී සිටියෙමු. එවක විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන් , එවක ලංවිම සභාපති විජිත හේරත් මැතිදුන් ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයද අප සංගමය දක්වන අදහස් හා එකවූවද ඒ මොහොතේ පැනනැගුන විවිධ හේතු මත ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ගේ දීමනා හැර අනෙකුත් සියලු සේවක වැටුප් 2021.01.01 දින සිට ගෙවීම් සිදුවන පරිදි 2022 මැයි මස සිට ගෙවීම් කරන ලදී. ඒ මොහොතේ එවක අමාත්‍යතුමා හා හිටපු සභාපතිතුමන් හා අධ්‍යක්ෂ මණ්ඩලය අප සංගමයට පොරොන්දුවුයේ 2021 වසර අවසන්වීමට පෙර ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ගේ දෛනික දීමනාවද වැටුප් වැඩිකිරීමට සාපේක්ෂව ඉහල දමන බවයි. ඒ අනුව එවක සභාපතිතුමන් ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය ඒ සදහා කරුණු සොයාබැලීම සදහා කමිටුවක් පත්කිරිමට එවක සාමාන්‍යාධිකාරීතුමිය වෙත උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන) සෙනජිත් දසනායක මැතිතුමන් , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) කොලොන්න මැතිතුමන් හා ගණකාධිකාරි (වත්කම් කළමනාකරණ ) ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදී. 

ඒ අනුව එම කමිටුව සිය නිර්දේශ සහිත වාර්තාව 2021 සැප්තැම්බර් 08 දින එවක හිටපු සාමාන්‍යාධිකාරීතුමන් වෙත භාරදෙන ලදී. මෙවන් පසුබිමක හිටපු අමාත්‍යතුමන් හා හිටපු සභාපතිතුමන් සිය ධූරවලින් ඉවත්කිරීමට රජය තීරණය කල අතර ඒ අතර ලංවිම සාමාන්‍යාධිකාරීධුරයද වෙනස්විය. ඒ අතර වාරයේ අප සංගමයේ සභාපතිතුමන් අවස්ථා කිහිපයකදීම ලංවිම පාලනාධිකාරියෙන් මේ කමිටු වාර්තාව පිලිබද විමසන ලදි. ඒ සෑම අවස්ථාවකම අදාල කමිටු වාර්තාව අස්ථානගතවීම පිලිබද කරුණු ඉදිපත් කෙරුනා මිස ගැටලුවට විසදුම් ලැබෙන අයුරක් අප දුටුවේ නැත. මෙවන් පසුබිමක 2021.12.10 ලංවිම උප සභාපති නලින්ද ඉලංගකෝන් මැතිතුමන් සමග අප සංගමයේ සභාපතිතුමන් කල සාකච්ඡාවකදී එතුමා පොරොන්දුවූයේ 2021.12.31 දිනට පෙර උක්ත දීමනා ඉහල දැමීම සිදුකරන බවත් ඒ සදහා වන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන බවත්ය. ඒ අනුව උප සභාපතිතුමන්ගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් මැතිතුමන් සූදානම්වුවද ඒ සදහා නිර්දේශ නිකුත්කල කමිටු වාර්තාව අස්ථානගතවී තිබින.  මේ පිලිබද අප සංගමයේ සභාපතිතුමන් දිගින් දිගටම ලංවිම උප සභාපතිතුමන් හා ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති) සමග සාකච්ඡා පැවැත්විය එහෙත් කමිටු වාර්තා අස්ථානගතවීම ප්‍රහෙලිකාවක් විය.

අවසානයේ මේ පිලිබද 2022.02.17 දින අප සංගමයේ සභාපතිතුමන් සාමාන්‍යාධිකාරී ශාඛාවේ වගකිවයුතු නිලධාරීන් වන සාමාන්‍යාධිකාරීතුමන්ගේ ලේකම්තුමිය  මුණගැසී කරුණු විමසුවද එතුමියද ඒ පිලිබද කිසිදු තොරතුරුක් නොදන්නා බවත් එවන් ලේඛනයක් නොලැබුන බව සදහන් කල අතර පසුව සාමාන්‍යාධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය මුණගැසී කරුණු විමසූවද එතුමිය පැවසුවේ එවැනි ලේඛනයක් ලැබී නැති බවත් එහි දින වකවානු පිලිබද තොරතුරු ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව අප සංගමයේ සභාපතිතුමන් කමිටු වාර්තාව සකස්කල කමිටුවේ සභාපතිතුමන් වන අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන ) හමුවී මේ පිලිබද විමසූ අතර එතුමා ඒ පිලිබද සොයබැලීමට අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන ) කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය වෙත වගකීම් පැවරූ අතර එතුමිය ඒ මොහොතේම එම කමිටු සාමාජික නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු ) දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් මේ පිලිබද කරුණු විමසූ අතර එතුමා මතකය අනුව කමිටු වාර්තාව සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස භාරදුන් බව පැවසු අතර එය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්බන්ධීකරණ ) මෙරිල් ගුණතිලක මැතිතුමන් වෙත භාරදුන් බව සදහන් කරන ලදී. ඒ අනුව ඒ මොහොතේ ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්බන්ධීකරණ) හමුවූ අප සංගමයේ සභාපතිතුමන් ඉහත කරුණු සියල්ල එතුමාට සදහන් කලද තමන්ට එවන් ලේඛනයක් නොලැබුන බවත් ඒ පිලිබද පරිඝණක දත්ත තුල සොයාබලන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව පරිඝණක පද්ධතිය පරික්ෂාවේදී හෙලිවූයේ උක්ත කමිටු වාර්තාව 2021.09.08 දින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්බන්ධීකරණ ) මගින් සාමාන්‍යාධිකාරීතුමන් වෙත යොමුකර ඇති බවත් එය ඒ මොහොතේත් එම කාර්යාලය තුල තිබෙන බවත්ය. ඒ බව අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන ) වෙත දැනුම්දුන් අතර කඩිනමින් ඒ පිලිබද පියවර ගැනීමට එතුමා උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව සතියකට පමණ පසුව අදාල කමිටු වාර්තාව ප්‍රධාන ඉංජිනේරූ (ප්‍රතිපත්ති ) වෙත යොමුකල අතර එතුමා ඒ සදහා වන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව දිනක්තුල සකස් කර අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකර තිබින.

ඒ අනුව පසුගිය මාර්තු මස අවසන් සතියේ පැවති  අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී උක්ත දීමනාව ඉහල දැමීමට අනුමැතිය ලබාදෙමින් හා අප සංගමයට පොරොන්දුවූ පරිදි 2021 ජනවාරි 01 සිට බලාත්මක වන පරිදි  ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදෙමින් අදාල අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය හිමිවිය.

ඉන්පසු ඒ සදහා වන චක්‍රලේඛය සකස් කර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) වෙත  යොමුකිරිමටද ප්‍රධාන ඉංජිනේරු (ප්‍රතිපත්ති ) ශාඛාව යුහුසුලුවිය. පසුගිය අප්‍රේල් 1 දින යොමුකල උක්ත චක්‍රලේඛය 2022 අප්‍රේල් 18 එනම් අද දින දක්වාම නිකුත් නොකිරීම පිලිබද අප සංගමයේ සභාපතිතුමන් අද පෙරවරුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) මුණගැසි විමසීමක් කල අතර එතුමා ඒ මොහොතේම අදාල චක්‍රලේඛය සාමාන්‍යාධිකාරීතුමන් වෙත යොමුකරන ලදී. 

ඉන් අනතුරුව ආධුනිකත්ව පුහුණුලාභී (NVQ )සහෝදරයින්ගේ පලමු වසර සදහා රු.1500 ක් දෙවන වසර සදහා රු.1600 ක්, තෙවන වසර සදහා රු. 1700 හා සිව්වන වසර සදහා රු.1900 ලෙස දෛනික දීමනාව ඉහල දමමින් හා එම දීමනාව 2021 ජනවාරි 01 සිට බලාත්මක වන පරිදි ගෙවීමට උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛය අද සවස නිකුත්කරන ලදී.

මෙය අප සංගමය ලැබූ ජයග්‍රහණයකට වඩා සමස්ථ තාක්ෂණික සේවකයින් හා ආධුනිකත්ව පුහුණුලාභීන් ලැබූ විජයග්‍රහණයකි. මේ වෙනුවෙන් විවිධ පාර්ශවයන්ගේ බාධක,චෝදනා ගැරහුම්, අවලාද ,නින්දා ,අපහාස මැද අප සංගමය හුදෙකලා සටනක නිරතවිය. ඒ පටු අරමුණු වාසි බලාපොරොත්තුවෙන් හෝ සංගමයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් නොව ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් යනු අපේම සහෝදරයින් යන හැගීමෙන්ය. 

එහෙත්  අප සංගමය ප්‍රමුඛ තාක්ෂණික සේවකයින් ලබාගත් මේ ජයග්‍රහණය හැල්ලුවට ලක්කිරීමට තම පටු දේශපාලන හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් යොදාගැනීමට මාන බලන අටවාගත් ව්‍යාජ වෘත්තීය සමිතියක පිරිසක් කැසකවන බව වාර්තාවේ. ඉතිහාසය පුරා අරගල ජයගත් හා කැපකිරීම් කල පාර්ශව පසෙකලා  වෙනත් පාර්ශව පිම්බුන ව්‍යාජ වෘත්තීය සමිති ක්‍රියාවලියට තිත තැබිය යුතුය. ඒම නිසාම මේ සටහන මෙසේ ඇත්ත ඇති සැටියෙන් පලකර තැබීමට අප සංගමය තීරණය කලේය.

මේ දෛනික දීමනා ඉහල දැමීම වෙනුවෙන් උපරිම කැපකිරිම් කල අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා ඇතුලු නිලධාරී මණ්ඩලයට, ලංවිම සියලු නිලධාරීන්ට දැවැන්ත ආදර්ශයක් සපයමින් ඉතා කැපවීමෙන් ආයතනය පිලිබද දැඩි ලෙංගතුකමින් සිය රාජකාරි අකුරට ඉටුකරමින් මේ වෙනුවෙන් අප සංගමයට විශාල ශක්තියක් වූ ප්‍රධාන ඉංජිනේරු ( ප්‍රතිපත්ති ) මොහොමඩ් ඉර්ෂාඩ් මැතිතුමන්ට , මේ වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදුන් අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන)සෙනජිත් දසනායක මැතිතුමන් ,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) කොලොන්න මැතිතුමන් , ගණකාධිකාරි ( වත්කම් කලමනාකාරන ) , හිටපු විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමන්ට , එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සමන් දිසානායක මැතිතුමන්ට, හිටපු සභාපති ඉංජිනේරූ විජිත හේරත් මැතිතුමන්ට , හිටපු සාමාන්‍යාධිකාරී කුමුදිනී හේරත් මැතිනියට , හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මැතිතුමන්ට , වත්මන් ලංවිම සභාපතිතුමන්ට, මේ වෙනුවෙන් විශාල සහයක් ලබාදුන් උප සභාපති නලින්ද ඉලංගකෝන් මැතිතුමන්ට , ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලයට, වත්මන් සාමාන්‍යාධිකාරීතුමන් ,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්බන්ධීකරණ) ඇතුලු කාර්ය මණ්ඩලයට, අතිරේක සාමාන්‍යාධිකාරී (වත්කම් කලමනාකාරන) ශාඛාවේ ප්‍රධාන ලිපිකාරිනිය ඇතුලු  සියලූම නිලධාරීන්ට , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  (පිරිස්) පාලිත පෙරේරා මැතිතුමන් ඇතුලු කාර්ය මණ්ඩලයට , පිලියන්දල පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිතුමිය ඇතුලු කාර්ය මණ්ඩලයට . මේ ගැන නිරන්තර සොයාබලමින් අවදානයෙන් සිටි සියලූම ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්  ඇතුලු සැමට අප සංගමයේ ගෞරවනීය ස්තූතීය පිරිනමමු .

එලඹෙන සති කිහිපය තුල 2021 මාර්තු 15 අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවී මෙතෙක් චක්‍රලේඛය නිකුත් නොවූ ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින්ගේ වෛද්‍යාධාර දීමනා යෝජනාවලියට අදාල චක්‍රලේඛයද නිකුත් කිරීමට පාලනාධිකාරිය එකගවිය. එය මෙතෙක් ප්‍රමාදවූයේ එම චක්‍රලේඛයට සමගාමිව ස්ථීර සේවකයින්ගේ දැනට පවතින වෛද්‍යාධාර යෝජනාවලියද විධිමත් ලෙස එක් චක්‍රලේඛයක් මගින්ම සිදුකිරීමට උපදෙස් ලැබීම බවට පාලනාධිකාරිය දැනුම් දෙන ලදී. 

එමෙන්ම පසුගිය මාර්තු 01 සිට 05 දක්වා කාලය තුල සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ 335 වන ආධුනිකත්ව පුහුණුලාභී 3 වන කණ්ඩායමේ හා 14 වන 4 වන කණ්ඩායමේ සහෝදරයින් වෙත ස්ථිර පත්වීම් ලබාදිමට අදාල පත්වීම් ලිපි නිකුත් කිරීම ප්‍රමාදවී ඇත. ඒ පිලිබද අප සංගමයේ සභාපතිතුමන් අද කරුණු විමසීමක් කරන ලද අතර ඒ සදහා මෙතෙක් සාමාන්‍යාධිකාරීතුමන් දිනයක් ලබාදී නොමැතිබව හෙලිවිය. ඒ පිලිබද ඉතා කඩිනමින් අප සංගමය ලංවිම සාමාන්‍යාධිකාරීතුමන් සමග සාකච්ඡා කර පුහුණු කාලය වසර 2 ක් ඉක්මවූ සහෝදරයින් වෙත සාධාරණය ඉටුකර දෙන බවත්. කිසිදු ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයකු ලංවිම තුල අතරමං නොකරන බවත් ඔබේ වෘත්තීය අයිතින් වෙනුවෙන් අප සංගමය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද අවදාරණය කරමු.

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 අප්‍රේල් 18