ඊයේ සාකච්ඡාවට මොකද උනේ

ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින මූල්‍ය අර්බුදය , ඒවාට විසදුම් හා සේවකයින් මුහුණදී ඇති ගැටලු පිලිබද  සාකච්ඡා කිරීම සදහා 2022 අප්‍රේල් 24 දින අප සංගමය යොමුකල ලිපියට ප්‍රතිචාර දක්වමින් අද දින ලංවිම සභාපතිතුමන් ඇතුලු පාලනාධිකාරිය  හා අප සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ලංවිම ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.

එහිදි මුලින්ම අප සංගමයේ සභාපතිතුමන් විසින් අප සංගමයේ යෝජනා හා අදහස් සහිත ලිපිය භාරදුන් අතර පසු ඒ පිලිබද සාකච්ඡාව ආරම්භවිය. එහිදි මුලින්ම දැනට ලංවිම තුල සිදුව තිබෙන කොන්ත්‍රාත්කරණය පිලිබද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනි. එහිදි අප සංගමය විසින් කොන්ත්‍රාත්කරණය නිස සිදුවන අලාභය , අයථා ක්‍රියා, ලංවිම නාමය අවභාවිතා කිරීම සාක්ෂි සහිතව පෙන්වාදුන්නේය. එහිදි සභාපතිතුමන් සදහන් කලේ මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ක්‍රමවේදයක් බවත් එය එකවර අත්හිටුවීමේ හැකියාවක් නොමැති බවත් ක්‍රමයෙන් එය ඉවත්කලයුතු බවයි. එහිදී ලංවිම සාමාන්‍යාධිකාරීතුමන් විමසුවේ කොන්ත්‍රාත්කරණය නතර කලහොත් එම රාජකාරි  ස්ථීර සේවකයින්ට ආවරණය කල හැකිද යන්නයි. එහිදී අප සංගමය සදහන් කලේ සේවක කළමනාකරණය නිවරදි ලෙස සිදුවන්නේනම් එය සිදුකල හැකිබවත් කොන්ත්‍රාත්කරුවන්ට වඩා ලංවිම ස්ථීර සේවකයින් රාජකාරි ඉටුකල අයුරු උදාහරණ සහිතව පෙන්වාදෙන ලදි. ඉන් අනතුරුව මේ සදහා විසදුම් ඉදිරියේදි සාකච්ඡා කිරිමටත් ඒ සදහා සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමටත් යෝජනාවිය. එමෙන්ම එහිදි සභාපතිතුමන් ප්‍රකාශ කලේ මෙහි වගකීම අප සංගමය වෙත පැවරෙන බවත් ලංවිම අරමුණ පාරිභෝගිකයන්ට කඩිනමින් සේවය සැපයීම බවත් ඒ වෙනුවෙන් ලංවිම ස්ථිර සේවකයින්  කැපවන බවට සහතිකයක් අවශ්‍ය බවයි. එහිදි අප සංගමය ලංවිම සියලු සේවකයින් වෙනුවෙන් එහි වගකිම භාරගන්නා බවට සහතිකවූ අතර කොන්ත්‍රාත්කරණය නතර කිරීමේ පලමු අදියර යටතේ  දැනට නව සේවා සැපයුම ලබාදීමේ කටයුතු ස්ථීර සේවකයින් වෙත පැවරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සාකච්ඡා කර පියවරක් ගන්නා බව අප සංගමය වෙත පොරොන්දු විය.

පසුව දැන ලංවිම වෙත අයවීමට ඇති නොගෙවූ බිල්පත් අයකර ගැනීම පිලිබද සාකච්ඡා කරන ලදී .එහිදි සභාපතිතුමන් සදහන් කලේ එම බිල්පත් අයකිරීමටත් ගෙවීම් පැහැරහරින පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්දි කිරීමටත් ඉදිරි තෙමසතුල  හිග බිල්පත් අයකරගැනීමට් උපදෙස් ලබාදි ඇති බවයි. බිල් නොගෙවා පසුව විදුලි ගිණුම් වසාදමා ඇති ප්‍රභූවරුන්ගේ නිවාස පිලිබද සාක්ෂි සහිතව අප සංගමය කරුණු ඉදිරිපත් කරන ලදි එහිදී උප සභාපතිතුමන් ඒ පිලිබද කරුණු පැහැදිලි කරමින් පැවසුවේ ඇතැම් අමාත්‍යවරුන්ගේ බිල්පත් රජයේ නිල නිවාස බවත් එහි බිල්පත් රජය මගින් ගෙවිය යුතු අතරම ඇතැම්  බිල් නීතිමය කරුණු මත නොගෙවා ඇති බව හා ඒ පිලිබද දීර්ඝ පැහැදිලී කිරීමක් කරන ලදි. එහිදි සභාපතිතුමන් සදහන් කලේ රජයේ වියදමින් නඩත්තු වන අමාත්‍යවරුන්ගේ  බිල්පත් පිලිබද වාර්තාවක් ලබාදෙන ලෙසත් එයින් රජයෙන් ලැබිය යුතු මුදල මහා භාණ්ඩාගාරය හරහා ලංවිම වෙත අයකරගැනිමට අවශ්‍ය පියවර ගන්නා බවයි. එසේම දැනට බිල්පත් නොගෙවා තිබෙන සියලු රාජ්‍ය ආයතනයන්හි බිල්පත් මහා භාණ්ඩාගාරය හරහා කඩිනමින් අයකර ගන්නා ලෙස අප සංගමය ඉල්ලා සිටියේය. 

පසුව දැනට නතර කර ඇති ව්‍යාපෘති හා අනෙකුත් කාර්යාල සදහා සිදුකරන ගෙවිම් හා ඉන්ධන ගෙවිම අත්හිටුවන ලෙස යෝජනා කරන ලද අතර ඒ පිලිබද ඉදිරියේ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් සමග සාකච්ඡා කර පියවර ගැනීමට සූදානම් බව සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කරන ලදී. එහිදී එතුමා සදහන් කලේ ඇතැම් තීරණ ගැනීමෙදි ප්‍රායෝගික ගැටලු මතුවන බවත් කෙසෙවුවද ඒවා විසදා ගැනිමට අවදානය යොමුවී ඇති බවයි.

පසුව ලංවිම මානව සම්පත් කළමනාකරණය හා වගකීම් පැවරීම පිලිබද සාකච්ඡා විය. එහිදි අතිරික්ත සේවකයින් සිටින ස්ථාන පිලිබද උදාහරණ සහිතව සාකච්ඡා කරන ලදි. එමෙන් උසස්වීම් හා පුහුණු පාඨමාලා පමාවීම පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡාවිය. ලංවිම සේවකයින් වෙත වසර 05 ක කාලයක් විදේශගතවීමට ඉඩලබාදී වසර 5 ට පසුව නැවත පෙර තනතුර හා වැටුපේම පිහිටුවා යලි ලංවිම වෙත බදවාගැනිමට යෝජනා කල අතර එහිදී සභාපතිතුමන් එය වසර 10 සදහා ලබාදීම වෙනුවෙන් සාකච්ඡා කරන ලදි. එහිදි ඒ පිලිබද සාකච්ඡා කිරීමටත් සේවකයින් වෙත අගතියක් නොවෙන ලෙස හා බුද්ධිගලනයට හානි නොවන ලෙස එය ක්‍රියාත්මක කල යුතුබවයි. 

ඉන් අනතුරුව දැනට විදුලි මනු ලෙකෝ ආයතනය තුලින් මිලදී ගැනිම , සේවකයින් වෙත ලබාදෙන ආයුධ, උපකරණ ඇතුලු භාණ්ඩවල ඇති ගැටලු පිලිබද දීර්ඝ ලෙස සාකච්ඡා
විය. එමෙන්ම නව නිපයුම් වලට අවදානය යොමුනොකිරීම  ඇතුලු කරුණු පිලිබද සාකච්ඡා විය.  එහිදී මේ පිලිබද සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කර වැඩපිලිවෙලක් සැකසිමට අවදානය යොමුකරන ලදි.

පසුගිය නොවැම්බර් මස 30 දීන ලංවිම විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ඉන්දික ප්‍රනාන්දු මහතා විසින් සේ.අ.අරමුදල භාවිතා කරමින් ලංවිම සේවකයින් වෙත වහල මත සූර්ය පැනල සවිකිරිමට හා එමගින් ලැබෙන ආදායම මගින් අදාල ණය ගෙවිමට අදාලව ලබාදී තිබූ වාර්තාව කියාත්මක කිරීම පමා වීම පිලිබද අවදානය යොමුකල අතර එහිදි සභාපතිතුමන් සදහන් කලේ ඒසදහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාදුන් බවත් එවැනි යහපත් නිලධාරීන් ඇගැයීමට ලක්කලයුතු බවත් ඒම යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාල චක්‍රලේඛය නිකුත්කර ඉදිරියේදි ණය ලබාගන්නා විට අවශ්‍ය සේවකයින් සදහා අදාල ණය ගෙවිමට කටයුතු කරන බවත් ඒ පිලිබද අතිරේක මුදල් කළමනාකාරතුමා සමග සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේය. 

පසුව ලංවිම සේවකයින්ගේ අතිකාල කප්පාදුව, සේවකයින්ගෙ ගමනාගමන දුෂ්කරත පිලිබද සාකච්ඡා කරන ලදී. එහිදි සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කලේ තමන් අතිකාල කප්පාදු කරන ලෙස චක්‍රලේඛයක් නිකුත්කර නොමැති බවත් සිදුව ඇත්තේ එම චක්‍රලේඛය ආයතන ප්‍රධානින් තමන්ගේ හිතුමනාපයට විවිධ ලෙස අර්ථදැක්වීම බවයි. එම නිසා එලඹෙන සතියේ සියලු ආයතන ප්‍රධානින් කැදවා උක්ත චක්‍රලේඛය පිලිබද පැහැදිලී කිරිමක් කරන ලෙසත් නිකුත් කරන චක්‍රලේඛය එලෙසම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකසන ලෙස සභාපතිතුමන් සාමාන්‍යාධිකාරීතුමන් වෙත උපදෙස් ලබාදෙන ලදී. එහිදී සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කලේ තාක්ෂණික සේවකයින් වෙත අතිකාල නොගෙවන ලෙස තමා කිසිවිටක උපදෙස් ලබානොදෙන බවත් ලංවිම පවත්වාගෙන යන්නේ ඔවුන් බවත් එය සියලු දෙනා අවබෝධ කරගතයුතු බවයි. එමෙන්ම සංයුක්ත දීමනාව ගෙවිම සදහා ලංවිමට එකක් වන පරිදි නිවරදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට අප සංගමය යෝජනා කල අතර දැනට සංයුක්ත දීමනා ගෙවිම නතර කර ඇති ප්‍රදේශ පිලිබද අවදානය යොමුකරමින් සාකච්ඡාව පැවැත්විය.

ඉහත සදහන් කල අතිකාල කප්පාදුව හා ආර්ථික තත්වය සලකා බලා සියලු තාක්ෂණික සේවකයින්ට හා ප්‍රවහන දුෂ්කරතා ඇති සේවකයින්ට ඉන්ධන සහනාධාරයක් හෝ ප්‍රවාහන පහසුකම් ලබාදීම පිලිබද සාකච්ඡා කෙරුනු අතර දැනට ලංවිම මගින් ලබාදී ඇති සේ.අ.අරමුදලේ ණය,ආපදා ණය ,යතුරු පැදි ණය යන ණය සදහා වන අයකිරීම් තාවකාලිකව අත්හිටුවිමටද යෝජනා කරන ලදී.

ඉන් අනතුරුව ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් වෙත දෛනික දීමනාව ඉහල දැමීම වෙනුවෙන් අප සංගමයේ ස්තූතීය පාලනාධිකාරිය වෙත පිරිනැමූ අතර පසුගියදා සම්මුඛ පරීක්ෂණය අවසන් කල ආධුනිකත්ව පුහුණුලාභී සහෝදරයින් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිලිබද අවදානය යොමුකල අතර එහිදී උප සභාපතිතුමන් පොරොන්දුවූයෙ එලඹෙන අධ්‍යක්ෂ මණ්ඩල හමුවෙදී ඒ සදහා අවසර ලබාදෙන බවයි. එහිදි ඔවුන් ඇතුලු ආධුනිකත්ව පුහුණුලාභී සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව පිලිබද විමසීමක් කරන ලදී. එහිදී සභාපතිතුමන් හා සාමාන්‍යාධිකාරීතුමන් පැහැදිලීව සදහන් කලේ එම සේවකයින් සියලු දෙනා දැන් ලංවිම සේවකයින් බවත් ඔවුන් ලංවිම සේවයෙන් ඉවත්කිරීමක් සිදුනොවන බව සහතිකවන බවත් කට කතා වලට නොරැවටෙන ලෙසත්ය.

පසුව දැනට වාචිකව අත්හිටුවා ඇති අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ විභාගය යලි පැවැත්වීමට පියවර ගන්නා ලෙස හා යාන්ත්‍රික ,සිවිල් අධිකාරි අභ්‍යන්තර බදවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ප්‍රමාදවිම අවදානය යොමුකල අතර ඒ සදහා එලඹෙන සතියේ පිලිතුරක් ලබාදෙන බව සාමාන්‍යාධිකාරීතුමන් සදහන් කරන ලදි. 
 
අවසන් වශයෙන් පසුගිය වසරේ දිරි දීමනා ගෙවීම ප්‍රමාදවීම පිලිබද සභාපතිතුමන්ගේන් විමසූ අතර එහිදි එතුමා සදහන් කලේ මූල්‍ය තත්වය යහපත්වු වහා එය ලබාදෙන බවයි.

තාක්ෂණික සේවකයින්ගේ හා ලංවිම අනෙකුත් සේවකයින්ගේ ගැටලු පිලිබද 
පැය දෙකහමාරකට අධික කාලයක් පුරා පැවැති සාකච්ඡා යම් තරමක පලදායී ලෙස නිමාවිය.
 

මේ සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමන් , උප සභාපතිතුමන් ,සාමාන්‍යාධිකාරීතුමන් හා අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ ,සම ලේකම් චමිත් ජීවන්ත , උප සභාපති ජගත් බණඩාර, මාධ්‍ය ලේකම් ශකිල ලක්මාල්, උප භාණ්ඩාගාරික නදීප් ප්‍රියංකර ,මධ්‍යම කාරක සභික (බ.ප.ද 02) අමල් අරුණාලෝක යන සහෝදරවරුන් සහභාගීවිය. 

මාධ්‍ය ඒකකය 
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය 
2022 අප්‍ර්‍රේල් 27