ලං.වි.ම සවියේ අවසන් ගිණුම් වාර්තා

ආදරණීය වෘත්තීය සමිති නායකයිනි, ලං.වි.ම සහෝදර සහෝදරියනි.

ලං.වි.ම වෘත්තීය සමිති බෙදි වෙන්වී තිබිනි. 2023 මාර්තු 09 අප සංගමය මුල් පියවරක් තබමින් සියලු වෘත්තීය සමිති එක් වේදිකාවකට ගෙන ආවේය. ඒ වනවිට ලං.වි.ම කුණු කොල්ලයට විකිණීමට එවක පාලකයන් පිඹුරුපත් සකසමින් සිටියේය. ඉන්පසු පනත පිලිබදව එතෙක් සාකච්ඡා නොදුන් එවක විදුලිබල ඇමතිවරයා කඩිනම් සාකච්ඡාවක් ලබාදුන්නේය. එම සාකච්ඡා ප්‍රතිඵලයක් නොවූ බැවින් වෘත්තීය සමිති රැස්ව යලි එකඟතා කිහිපයකට එළඹියේය. ඉන් පසුවද ඇමතිවරයා සමඟ සාකච්ඡා අසාර්ථක වූ පසුබිමක වෘත්තීය සමිති 2023 ජූලි මස 21 වනදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රඟහලේදී ලං.වි.ම පෞද්ගලීකරණයට එරෙහි පලමු වෙඩිමුරය තැබීය. ඉන් පසුව වෘත්තීය සමිති ක්‍රමයෙන් තම සටන තීව්‍ර  කලේය. 
එවන් පසුබිමක එවක රජය විසින් 2023.12.06 දිනට පෙරදාතමින් 2023.12.08 වන දින නව විදුලිබල පනත ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කලේය. එම ක්‍රියාවලියට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා මහජන විරෝධය හමුවේ ආණ්ඩුව පනතේ ගැසට්ටුව ආපස්සට ගත්තේ ජනවාරි මාසයේදි යලි ගෙන ඒමටය.
එහෙත් ලං.වි.ම වෘත්තීය සමිති සටන අත්නොහලේය. ලං.වි.ම අභ්‍යන්තරය තුල වෘත්තීය සමිති සංවිධානය විය. 2023 දෙසැම්බර් 21 සිට දෙසැම්බර් 27 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ සේවකයින් දැනුවත් කරමින් සටන මුවහත් කලේය. එහි ප්‍රතිඵලය ලෙස ඉතිහාසයේ පළමු වරට ලං.වි.ම සියලු වෘත්තීය සමිති සියලු සේවකයින් එක රොදට කොළඹ බල මුලු තර කලේය. ඒ 2024 ජනවාරි 03, 04, 05 තෙදින මුලු කොලඹම උණුසුම් කරමිනි. එහෙත් කිසිදු පාරිභෝගිකයෙකු එම සටන තුලින් අසරණ නොකලේය. ලං.වි.ම සේවක හා වෘත්තීය සමිති වෙතින් ආණ්ඩුවට එල්ලවූ තදබල පහරින් සලිතවු එවක ආණ්ඩුව ජනවාරි ගෙන ඒමට සිටි අවිධිමත් විදුලිබල පනත හකුලාගන්නා ලදී. ඒ සමගම ඔවුන් වෘත්තීය සමිති හා සේවක දඩයම ආරම්භ කලේය. ඒ අනුව

1. 2024 ජනවාරි 05 ලං.වි.ම වෘත්තිය සමිති 29 ක නිලධාරීන් 96 හා සාමාජිකයින් වෙත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණයට ගියේය. 


2. 2024 ජනවාරි 18 වෙනිදා ජනවාරි 3,4,5 උද්ඝෝෂණයට සහභාගිවීම වරදක් බවට චෝදනා නගමින් අහිංසක මුදල් භාර නිලධාරීන් 62 කගේ වැඩ තහනම් කලේය.


3. 2024 ජනවාරි 19 වෘත්තීය ක්‍රියමාර්ගය මෙහෙයවිම නිසා මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයේ වෘත්තීය සමිති නායකයින්ට රාජකාරි කිරීම වළක්වාලමින් අත්තනෝමතික චක්‍රලේඛයක් නිකුත් කරමින් අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා මීගහතැන්න පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ස්ථානමාරු කරන ලදී.

මේ දැවැන්ත පළිගැනීම හමුවේ සියලු දෙනා අතර වාද විවාද ඇතිවිය. සේවකයින් තුල විවේචන ඇතිවිය. අපේක්‍ෂා භංගත්වයට පත්විය. එකිනෙකා අතර විවිධ මත ඇතිවිය. වැඩ තහනමට ලක්වූ පිරිස කොපමණද යන්න ගණනය කල නොහැකි වාතාවරණයක් උදාවිය. ඔවුන් ඇතුළු සියලුදෙනා අතරමං වන ආකරයේ කටයුතුද සිදුවිය. මේ තත්වය පාලනය කිරීම සදහා අවසානයේ සියලු වගකීම් අප සංගමය හා නිදහස් සේවක සංගමය භාර ගන්නා ලදී. 


ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය සහෝදරයා සහ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සහෝදරයාගේ මැදිහත්වීමෙන් බෙදාහැරීම් අංශ 3 යටතේ වැඩතහනමට ලක්වූ සහෝදර සහෝදරියන්ගේ ලිපි ඉවත් කරගැනිමට එවක එහි අතිරේක සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ඡා කලද එම උත්සහය අසාර්ථක විය. ඒ සමඟම 2024 ජනවාරි මස වැටුපද අත්හිටුවන ලදි. ඉංජිනේරු සංගමය ගණකාධිකාරී සංගමය, මානව සම්පත් වෘත්තීකයින්ගේ සංගමය ලබාදුන් සහයෝගය මත අඩවැටුප් ගෙවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට හැකිවිය. ඉන් පසුව වෘත්තීය සමිති රැස්වී වැඩ තහනම්ව ඇති සේවකයින්ගේ ආර්ථික තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට හා වාරණ නියෝගයට මුහුණදීම සදහා වන වැඩපිලිවෙල සකස් කරන ලදි. ඒ සදහා කමිටුවක්ද පත්කලේය. මේ වෙනුවෙන් ගිණුමක් ආරම්භ කිරීමට යෝජනා කල අතර ඒ සදහා විවිධ යෝජනා ලැබුණු අතර ඒ සියල්ල තුලින් ගැටළුවට විසදුමක් නොලැබුණි. අවසානයේ සියළු සමිතිවල එකගත්වයෙන් අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා හා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සහෝදරයාගේ මූලිකත්වයෙන් ලංකා බැංකුව ලේක්හවුස් ශාඛාවේ 92135285 යටතේ ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කල අතර එය "ලං.වි.ම සවිය" ලෙස නම් කරන ලදී.


ඉන් පසුව එළඹි අභියෝගය වූයේ මුදල් රැස්කිරීමයි. එහිදී අධිකරණ කටයුතු සදහා මූල්‍ය තත්වය යහපත් වෘත්තීය සමිති වෙතින් තම සංගමයේ මූල්‍ය තත්වය අනුව සවිය අරමුදලට මුදල් බැරකිරීමට යෝජනා විය. එහිදී මූල්‍යමය දුෂ්කරතා පවතින වෘත්තීය සමිතිවල නීතිඥ ගෙවීම් සදහා ඉංජිනේරු සංගමය, විදුලි සේවක සංගමය, සමගි සේවක සංගමය සෘජුව මැදිහත් විය. අනෙකුත් වෘත්තීය සමිතිවලට අදාල ගෙවීම් මෙම අරමුදලෙන් ගෙවීම සිදුකිරීමටද තීරණය විය. 


ඉන් පසුව ඒ සඳහා සියලු සේවා ස්ථානවල සේවකයින්ගෙන් මුදල් ආධාර රැස්කිරීම ආරම්භ කරන ලදී. ඒ සඳහා 2024 ජනවාරි මස වැටුප් ලේඛන අනුව සියලු ශාඛාවන්ගේ වෙන වෙනම නාමලේඛන සකස් කිරීම ආරම්භ කලේය. එය ඉතා වෙහෙසකර විය. ගණකාධිකාරි සංගමයේ පූර්ණ සහය මත සතියක කාලයක් තුල සියලු ලේඛන සැකසීමට හැකිවිය. පසුව වෘත්තීය සමිති රැස්කර වගකීම් බෙදාදෙන ලදී. ඒ ගණකාධිකාරි (වැටුප්) ඒකක නියෝජනය වන පරිදිය. ඒ වෙනුවෙන් සංගම් රැසක් සක්‍රියව දායකත්වය ලබාදෙන ලදි. (වගකීම් ඉටුකළ අයුරු ලේඛන තුල සඳහන් කර ඇත.) 

මේ කටයුතු එකිනෙක සිදුවන විට සියලු වෘත්තීය ඒකමතිකව තීරණය කලේ එක වැඩතහනම් වූ අයකු වෙනුවෙන් රු. 20,000 ක මාසික දිමනාවක් ලබාදිමටයි. එමෙන්ම සෑම වෘත්තීය සමිතියකින්ම හැකි උපරිම දායකත්වය ලබාගත්තේය. ඒ වැටුප් ගෙවීමට අමතරව වාරණ නියෝගය වෙනුවෙන් වූ නඩුවට අදාලව ද වියදම් කිරීම සදහාය. මේ අනුව ලං.වි.ම සවිය අරමුදල ක්‍රමයෙන් ශක්තිමත් විය. එහෙත් 2024 මාර්තු මස වනවිට සේවකයින්ගෙන් මුදල් ආධාර ලැබිම අවම වෙමින් තිබීම නිසා හා වෘත්තීය සමිති රැසක සහයෝගය අවම වීම නිසා අප්‍රේල් මස 01 සිට අධිකරණ කටයුතු සඳහා මෙම අරමුදලින් ගෙවීම් කිරිම අත්හිටුවන ලදි. එතැන් සිට අරමුදල ක්‍රියාත්මකවූයේ 62 ගේ දීමනා හා විනය පරීක්ෂණ සදහාය.

ඔවුන්ගේ විනය පරීක්ෂණ සඳහා රැකවරණ නිලධාරින්ගේ සහය ලබාගැනීම ඇතුළු කටයුතු වෙනුවෙන් වෘත්තීය සමිති සහය දෙන ලදි. එහිදී හිටපු විමර්ශන කළමණාකරු එල්. සේනාරත්න මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විශ්‍රාමික අධ්‍යක්ෂ සුරංග නාවුල්ල මහතා, පලාත් පාලන දෙපාර්තමේන්තුව විශ්‍රාමික උපදේශක විජේදාස නවගමුව මහතා සහ මාලක වික්‍රමසිංහ මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පලකලද නීතිමය බාධා හේතුවෙන් විජේදාස නවගමුව නවගමුව මහතා සහ මාලක වික්‍රමසිංහ මහතා ඉවත් වන ලදි. ඔවුන්ගේ විනය පරීක්ෂණයට අදාළ සියලු ලේඛන අප විසින්ම සකසා ඉතා ප්‍රවේශම් සහගතව එම ලේඛන ඔවුන් වෙතට පත් කලෙය. ඒ කිසිවක් සඳහා ඔවුන් වෙත කැදවීම් නොකලේය. ඔවුන් පීඩාවට ලක් නොකලේය. අපගේ එකම අරමුණ වූයේ 2024 සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ඔවුන් 62 යලි සේවයේ පිහිටුවාගැනීමයි. කෙසේවුවද අපේක්‍ෂා කල පරිදි එම කටයුතු අවසන් නොවීය. 


බෙදාහැරීම් අංශ 4 පරීක්‍ෂණ කටයුතු අවසන් වී ඒ යටතේ සිටි සියලුදෙනා නිදොස් කොට නිදහස් කර 2024 අප්‍රේල් 21 වන දින වන විට වාර්ථා ලැබී තිබිණි. ඒ අනුව එවක එහි අතිරේක සාමාන්‍යාධිකාරීවරයා එම සේවකයින් 13 දෙනා යලි සේවයේ පිහිටුවීමට සියලු කටයුතු 2024 අප්‍රේල් 26 සූදානම් කර තිබියදි සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් නිසා ඒ අවස්ථාව ගිලිහී ගියේය. (ඒ වෙනුවෙන් ඉංජිනේරු සංගමය කල කැපකිරිම සිහිපත්කල යුතුමය). එහි ප්‍රතිපලයක් ලෙස මෙම කටයුතු 2024 අගෝස්තු දක්වා කල්ගතවිය. මේ පිලිබද අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සහෝදරයා හා ජාතික සේවක සංගමයේ සමුළු ලේකම් අජිත් දේවප්‍රිය සහෝදරයා  දිගින් දිගට එවක අමාත්‍යවරයා, සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරිවරයා දෛනික මුණගැසෙමින් ඔවුන් 62 යලි සේවයේ පිහිටුවීමට දැවැන්ත උත්සහයක් ගන්නා ලදී. එමෙන්ම මුදල් භාර නිලධාරින්ගේ සංගමයේ ලේකම් විශ්වජිත් පෙරේරා සහෝදරයා සහ විදුලි සේවක සංගමයේ රංජන් ජයලාල් සහෝදරයා අවස්ථා කිහිපයකම සාකච්ජා සඳහා සහභාගීවිය. 2024 ජුලි 16 එවක අමාත්‍යාතුමා සමග සාකච්ජාවේදී අප සංගමයේ සභාපතිවරයා තමන්ගේ වැඩ තහනම් කර 62 යලි සේවයේ පිහිටුවන ලෙසද ඉල්ලීමක්ද කරන ලදි. 

ඒ වනවිට වැඩ තහනමට ලක්වූ 62 වෙනුවෙන් ජුනි හා ජුලි දීමනා ගෙවීමටද නොහැකි වන ලෙසට ලං.වි.ම සවිය අරමුදලට ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදුවිය. අප සංගමයේ සභාපතිවරයා සහ නිදහස් සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සහෝදරයා අරමුදලට ආධාර ඉල්ලා සිගමන් යදින තත්වයට පත්විය. වෘත්තීය සමිති කිහිපයක් ඒ මොහොතේ සහයෝගය ලබාදෙන ලදි. එවන් පසුබිමක එම වැඩතහනමට ලක්වූ සහෝදර සහෝදරියන්ගේ කිහිපදෙනෙකුගේ පෞද්ගලික ගැටළු, සෞඛ්‍ය ගැටළු මතුවෙමින් ජීවිත අහිමිවීමේ පවා අවධානමකට ලක්වෙමින් තත්වය උග්‍ර අතකට පත්විය. මේ පිලිබදව එවක පාලනාධිකාරිය සමඟ දිගින් දිගටම කල සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස 2024 ජූලි 31 වන දින සිට නැවත විනය පරීක්‍ෂණයකට යටත්ව 62 ස්ථානමාරු සහිතව සේවයේ පිහිටුවන ලදි. 

ඉන්පසු “ලං.වි.ම සවිය” ගිණුමේ ඉතිරිව තිබූ මුදල ජූනි මස දිමනාව සේ සලකා එක් අයෙකුට රු.16,000 බැගින් වන සේ ගෙවීම් කරන ලදි. ඉතිරි වූ මුදල ඉදිරි විනය පරීක්‍ෂණයක් පැවැත්වුවහොත් ඒ සදහා භාවිතා කිරීම සදහා තබාගන්නා ලදි. තත්වය මෙසේ තිබියදී රට තුල දේශපාලන පරිවර්ථනයක් සිදුවිය. ඉන් පසුව බලයට පත්වූ පාලනාධිකාරිය වෙත මේ පිිලිබදව කරුණු ඉදිරිපත් කලද තොරතුරු සන්නිවේදනයේදී ඇතිවූ ගැටළු නිසා ඊට අදාල ලිපි කිහිපයක් හුවමාරු කිරිමට සිදුවිය.පසුව වත්මන් විදුලිබල ඇමතිවරයා විසින් විදුලි සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිතිවල ඉල්ලීම සලකා බලමින් එම සේවකයින් 62 ක 2024 දෙසැම්බර් 24 වන දින සිට නිදොස් කොට නිදහස් කරන ලදි. ඒ සමගම “ලං.වි.ම සවිය” අරමුදලට අදාල සියලු ගිණුම් වාර්ථා මසක් තුල ප්‍රසිද්ධ කිරීමට අප තීරණය කරන ලදි.

1983 ජූලි වර්ජකයින්ගේ රැකියා අහිමිකිරීමට පමණක් දෙවන වන මෙම ‍ඓතිහාසික සිදුවීම තුල වැඩ තහනමට ලක්වූ කිසිදු සේවකයෙකු යලි සේවයේ පිහිටුවනතුරු ආර්ථිකමය වශයෙන් වැටීමට ඉඩනොදී රැකගැනීමට හැකිවීම අප ලැබූ විශිෂඨ ජයග්‍රහණයකි. ඇතැම් සේවා ස්ථාන තුල කෙනෙහිලිකම්, තාඩන පීඩන ඔවුන් වෙත එල්ල වූ බවට ඕනෑතරම් සාක්ෂි තිබේ. එම ක්‍රියාවන්ට සම්බන්ධ වූ සියලුදෙනාට අප අනුකම්පා කරන්නෙමු. කෙසේ වූවද සියලු නින්දා, අපහාස, චෝදනා, විවේචන, මඩ සහ අවලාද මැද අප සංගමයේ සභාපතිවරයාත්, නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාත් ඉතා කටුක සහ දුෂ්කර මාවතක පැමිණි බව සිහිපත් කල යුතුය.

මෙම ගිණුම ආරම්භ කල මොහොතේ සිටම නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් ගිණුමේ තොරතුරු ප්‍රසිද්ධියට පත්කල අතර එය පූර්ණ විනිවිද ලෙස පවත්වාගෙන යාමට ඔවුන් දෙදෙනාට හැකිවිය. ඒ අනුව මෙම අරමුදල ආරම්භ කල දින සිට ගිණුම වසා දමන මොහොත දක්වා වෘත්තීය සමිති මඟින් රු.3,445,000.00 ක මුදලකුත්, බැංකු පොලිය ලෙස රු.12,354.97 ක මුදලකුත් බැරකර තිබු අතර ලං.වි.ම සහෝදර සහෝදරියන්ගේ ආධාර මඟින් රු.5,255,000.00 ක මුදලක්ද සහිතව සමස්ථ ගිණුම තුල රු.8,700,154.97 ක මුදලක් ලැබීම් ලෙස සටහන් විය. එම මුදලින් වැඩ තහනම් වූ අයගේ මාසික දීමනාව, අධිකරණ කටයුතු, රැකවරණ නිළධාරීන්ගේ කටයුතු ඇතුළු අනෙකුත් සියලු වියදම් ඇතුලත්ව රු.8,686,077.75 මුදලක් වැය වී තිබේ. ඉන් රු.14,077.22 ක මුදලක් අප සතුව පවතී. එම මුදල ඉදිරියේදී වෘත්තීය සමිති කටයුතු සදහා භාවිතා කිරීමට තීරණය කරන ලදි. 


මිට අදාල සියලු ගිණුම් වාර්ථා, ලේඛණ මේ සමඟ ඇති සබැදියෙන් (Link) පරීක්‍ෂා කල හැකි අතර මුදල් බැරකල සෑම ශාඛාවකටම හා වෘත්තීය සමිතියකටම අයවැය වාර්ථාව සහිත ස්තූති ලිපියක් යොමුකිරීමට කටයුතු යොදා තිබේ. මෙම කටයුතු වෙනුවෙන් සහය ලබාදුන් සියලු පාර්ශව වෙත අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටිමු.

ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න

මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)

Whatsapp & Hotline- 0704444900
Whatsapp Channel https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email- techniciansunion@gmail.com
Web - www.cebtu.lk