වෘත්තීය සමිති සාකච්ඡාවට මොකද උනේ
ආදරණීය ලංවිම සහෝදර සහෝදරියනි.
ලංවිම සියලු වෘත්තීය සමිති අද (09) පස්වරුවේ ලංවිම මූලස්ථානයේ ආපනශාලාවේදි රැස්විය
එහිදී අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා පසුගිය වකවානුව තුල නිහඩ පිලිවෙතක් අනුගමනය කිරිමට හේතුවූ කරුණු වෘත්තීය සමිති වෙත පැහැදිලි කරන ලදී. ඉන් පසුව 2024 වසරට අදාල වැටුප් සංශෝධනය කිරීමේදී ඇතිව තිබෙන ගැටලු , එහි හිග වැටුප පිළිබද කරුණු ඉදිරිපත් කරන ලදී. අනතුරුව 2024 වසරේ ප්‍රසාද දීමනාව අහිමිවීමට හේතුවූ විදුලි බිල සංශෝධන ක්‍රියාවලියේ ඇතිවූ ගැටලු හා සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය නිසා එල්ලවූ මහජන විරෝධය පැහැදිලි කරන ලද අතර ලංවිම අභ්‍යන්තර ප්‍රශ්න සියල්ල සමාජ මාධ්‍ය හරහා මහජනයා අතරට ගෙන යාම මගින් එය පාරාවලල්ලක්වී සේවකයින් වෙත බලපෑම එල්ලකරන අයුරු දැඩි ලෙස විවේචනය කරන ලදී. එමෙන්ම මින් ඉදිරියට ලංවිම ගැටලු හො ලේඛන Facebook වෙත මුදාහැරීමෙන් වලකින ලෙස සියලු වෘත්තීය සමිති හා සේවකයින් ගෙන් ඉල්ලා සිටින ලදී. එමෙන්ම වැඩ තහනමට ලක්වු සේවකයින් 62 ගැටලුව තවදුරටත් අවසන් නොවීම පිලිබද කරුණු ඉදිරිපත් කරන ලදී. එමෙන්ම මේ වනවිට යලිත් ඉංජිනේරු සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් පිලිබද විවේචන ඉදිරිපත් කරන ලදී. ක්ෂේත්‍රය තුල තාක්ෂණික සේවකයින් , රියදුරන් , පාරිභෝගික සම්බන්ධීකාරක නිළිධාරීන් අත්විදින පීඩාවන් ඉහල නිලධාරීන් නොදන්නා බවත් දුක්විදින සේවකයින් වෙත අගතියක් නොවන්නට වෘත්තීය සමිති වග බලාගත යුතු බවත් එසේ නොවන්නේනම් සේවකයින් පීඩාවට ලක්කරන වෘත්තීය සමිති නායකයින් ට අත්වන් ඉරණම පැහැදිලි කරන ලදි. තවද මෙම සාකච්ඡාවට සහභාගීවීමට වෘත්තීය සමිති සියල්ල වෙත පොදුවේ හා වෘත්තීය සමිති නායකයින්ට පෞද්ගලිකව ආරාධනා කල බවද දැනුම් දුන් අතර අද දින ලිපියක් මගින් බලශක්ති අමාත්‍යතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටීමට යෝජනා කරන ලදී.
ඉන් අනතුරුව නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් සහෝදරයා අදහස් දක්වමින් මෙම සාකච්ඡාව පැවැත්වීමට පසුබිම්වූ කරුණු හා ඒ වෙනුවෙන් රජය පාර්ශවයේ වෘත්තීය සමිතිය වෙත නම්‍යශීලී ලෙස අවස්ථාව ලබාදීම පිළිබද කරුණු දක්වන ලදී. අනතුරව 2024 වැටුප ලබාගැනිමේදී අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙත තුල නොගොස් ඊට පරිබාහිරව ගනු ලැබු ක්‍රියාමාර්ග නිසා ඇතිව තිබෙන තත්වය පැහැදිලි කරන ලදී. කෙසෙවුවද ලංවිම වෙනුවෙන් දරදිය අදින සේවකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් ඒ සදහා යලි සටන් වදින බවත් වෘත්තීය සමිති ඉල්ලීම් සදහන් කර ඇමතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටීමේ ලිපිය වෙනුවෙන් එකගතාවය පලකරන ලදි.
ඉන් අනතුරුව ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් දේවප්‍රිය සහෝදරයා අදහස් දක්වමින් පවතින තත්වය හා සමාජ මාධ්‍ය නිසා ලංවිමට සිදුවු බලපෑම මෙන්ම පසුගිය රජය මගින් ගනු ලැබූ ඇතැම් සාධනීය පියවර නිසා ලංවිම මූල්‍ය තත්වය යහපත්වීම පිලිබද අදහස් දැක්වීය. එමෙන්ම ප්‍රසාද දිමනා ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙ ක්‍රියාවලිය පිළිබද අප්‍රසාදය පලකරන ලදි. එමෙන්ම පසුගිය කාලයට වඩා යලිත් පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවලිය ඉහල යාම පිළිබද කරුණු දක්වන ලදි.
ඉන් පසු ප්‍රවාහන සේවක සමිතියේ ලේකම් බන්දුල වලිසුන්දර සහෝදරයා අදහස් දක්වමින් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පාලනාධිකාරියෙ සාකච්ඡාව තුලදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රසාද දීමනා ගෙවීමට කටයුතු කරන බවත් එයට මුදල් වෙන්කර ඇති බව සදහන් කර ඇති පසුබිමක ප්‍රසාද දීමනා ඉල්ලා සිටිමින් ලිපි යොමුකර සමාජ මධ්‍ය වෙත මුදාහැරීම දැඩිලෙස විවේචනය කරන ලදි. තාක්ෂණික සේවකයින් ,රියදුරු මහතුන් හා පාරිභෝගික සම්බන්ධීකාරක නිළිධාරීන් මහජනයා හමුවේ අසරණ වන අයුරු හා ඔවුන්ගේ රාජකාරි කැපකිරීම් පිළිබද පැහැදිලි කරන ලදී. එමෙන්ම ඇතැමුන් රියදුරු වෘත්තීය කාර්යාල මට්ටම්න් නිෂ්චය කර රියදුරු රාජකාරි හැල්ලු කිරීම දැඩි ලෙස විවේචනය කල අතර තාක්ෂණික සේවකයින් සමග ක්ෂෙත්‍රයේදී රියදුරු මහතුන් ඉටුකරන කාර්ය පැහැදිලි කරන ලදී. තවද ඉතා කඩිනමින් පාලනාධිකාරිය සමග සාකච්ඡා පැවැත්වීම පිළිබද කරුණු ඉදිරිපත් කරන ලදි.
පසුව ඉංජිනේරු සංගමයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක ඉසුරු කස්තුරිරත්න සහෝදරයා අදහස් දක්වමින් වැඩ තහනමට ලක්ව විනය පරීක්ෂණයට යටත්ව සෙවයේ පිහිටවූ සේවකයින් 62 ක්‍රියාවලියේ වත්මන් තත්වය ,ලංවිම මූල්‍ය තත්වය පැහැදිලි කරන ලදි. එමෙන්ම විදුලිබිල අඩුකිරිමට ඇති නොහැකියව හා විදුලි බිල අඩුකලහොත් ඇතිවිය හැකි තත්වයන් පැහැදිලි කරන ලදී.
ඉන් පසුව කම්බිමාර්ගකරු හා කාර්මික සේවක සංගමයේ සභාපති පරාක්‍රම රණවීර සහෝදරයා අදහස් දක්වමින් වත්මන් රජය මගින් ලංවිම සේවකයින් බලාපොරොත්තුවු කරුණු ඉටුනොවීම පිළිබද හා ඒ තුලින් සේවක කැලබීම පිළිබද අදහස් දක්වන ලද අතර ඉතා කඩිනමින් පාලනාධිකාරිය සමග තත්වය සාකච්ඡා කිරීමට යෝජනා කරන ලදී.
අනතුරුව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ නන්දන උදය කුමාර සහෝදරයා අදහස් දක්වමින් ලංවිම වෘත්තීය සමිති පසුගිය කාලය තුල එක් පාර්ශවයක් වෙතින් ඉල්ලීම් ඉටුවනු ඇති බව අපේක්ෂා කර නිහඩව සිටීම විවේචනය කරන ලදී. එමෙන්ම යලිත් ලංවිම තුල හිස ඔසවමින් තිබෙන නිලධාරී මාෆියාව හදුනා නොගෙන ප්‍රසාද දිමනා මාතෘකාව තුලින් එම බලය යට කිරීම පැහැදිලි කරන ලදි. එමෙන්ම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගීන් විදුලි උත්පාදනය කරන පසුබිමක විදුලි බිල සංශෝධනය ප්‍රමාදවීම හා ඉන්ධන මගින් විදුලිබලය උත්පාදන කිරිමට පාලනාධිකාරිය උත්සහ ගැනිම පැහැදිලි කරන ලදී. රජයේ පාර්ශවයේ වෘත්තීය සමිතිය සාකච්ඡාව මගහරින පසුබිමක ඉංජිනේරු සංගමයේ පැමිණිම ප්‍රසංසනිය බවත් පොදු වේදිකාව තුල විවේචන දරාගැනීමට ඕනැම පාර්ශවයක් සූදානම් වියයුතු බවද සදහන් කලේය. තවදුරටත් ලංවිම සේවකයින් පිඩනයට ලක්නොකර කඩිනමින් සාකච්ඡා වෙත යාමේ අවශ්‍යතාව පැහැදිලි කලේය.
පාරිභෝගික සම්බන්ධීකාරක නිළිධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික අදහස් දක්වමින් වත්මන් තත්වය පාලනය කිරීම වෙනුවෙන් වෘත්තීය සමිති සමගිව ඒක මතික ගමනක් යාමේ වටිනාකම පැහැදිලි කරන ලදී.
විදුලි පොදු සේවක සංගමයේ භාණ්ඩාගාරික නෙරංජන් සහෝදරයා අදහස් දක්වමින් මාලක වික්‍රමසිංහ සහෝදරයා යලි සේවයේ පිහිටුවීමට පාලනාධිකාරිය වෙතින් ඉල්ලීමක් කරන ලෙස යෝජනා කරන ලදී.
ඒ මොහොතේ එයට ප්‍රතිචාර දක්වමින් අප සංගමයේ සභාපති කෝසල අබේසිංහ සහෝදරයා සදහන් කලේ මාලක සහෝදරයා යලි සේවයට එක් කිරීම වෙනුවෙන් තමන් කිසිදු විරෝධයක් නොමැතීබවත් පසුගිය රජය අත්තනෝමතික ලෙස මීගහතැන්න පාසේමා වෙත ස්ථානමාරුකල තමන්ගේ ස්ථාන මාරුව තරම් සුලු ක්‍රියවලියක් හා වෘත්තීය සමිති කටයුතු සදහා වෘත්තීය සමිති නායකයින් නිදහස් කිරීමේ වැනි ඉතා පහසු ක්‍රියා සක්‍රීය නොකරන පසුබිමක මාලක සහෝදරයාගේ ගැටලුව විසදේදැයි ගැටලු සහගත බවයි.
සාකච්ඡාව අවසානයේ සියලු වෘත්තීය සමිති කරුණු කිහිපයක් මුල්කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මැතිතුමන්ට හා ලංවිම සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මැතිතුමන් වෙත ලිපියක් යොමුකිරිමට තීරණය කල අතර එම ලිපිය ඒ මොහොතේම සකස් කල අතර සාකච්ඡාවට පැමිණි සියලු වෘත්තීය සමිති ලිපියට අත්සන් තැබීය.
මෙම සාකච්ඡාවට පහත වෘත්තීය සමිති සහභාගී විය.
1. කාර්මික ශිල්පීන්ගේ සංගමය
2. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
3. ජාතික සේවක සංගමය
4. ප්‍රවාහන සේවක සමිතිය
5. තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය
6. ලංකා විදුලි පොදු සේවක සංගමය
7. කාර්යාල සේවක සංගමය
8. කාර්යාල සේවා ස්වාධීන සංගමය
9. සැලසුම් ශිල්පීන්ගේ සංගමය
10. ස්වාධීන ඉංජිනේරු සංගමය
11. ගණකාධිකාරි සංගමය
12. මුදල් භාර නිලධාරීන්ගේ සංගමය
13. විමර්ශන නිලධාරීන්ගේ සංගමය
14. දුරකථන ඇමතුම් මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ සංගමය
15. මානව සම්පත් වෘත්තීකයින්ගේ සංගමය
16. ලංවිම ආරක්ෂක අංශ සවිබල සංසදය
17. ගිණුම් සහකාරවරුන්ගේ සංගමය
18. මාණ්ඩලික සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සංගමය
19. පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ සංගමය
20. තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය
21. කම්බිමාර්ගකරු හා කාර්මික සේවක සංගමය
22. විගණන නිලධාරීන්ගේ සංගමය
23. පාරිභෝගික සම්බන්ධීකාරක නිළිධාරීන්ගේ සංගමය
24. විධායක නොවන උපාධිධාරීන්ගේ සංගමය
25. ගබඩාභාර නිලධාරීන්ගේ සංගමය
26. ගණකාධිකාරි සංගමය
සැ.යු. - වෘත්තීය සමිති විසින් අමාත්‍යතුමා හා සභාපතිතුමා වෙත යොමුකල ලිපිය ලංවිම සේවක යහපත සලකා ප්‍රසිද්ධ නොකරන බව කරුණාවෙන් සලකන්න
අපගේ නවතම තොරතුරු යාවත්කාලීන විමට පහත Link එක මගින් අපගේ Whatsapp නාලිකාවට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/BqIHsXtExgm73u05nyi9mC
ඔබ අපගේ Whatsapp නාලිකා වෙත සම්බන්ධවී ඇතිනම් මේ නාලිකාව වෙත සම්බන්ධවීමෙන් වලකින්න
මාධ්‍ය ඒකකය
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය
(සියලු වෘත්තීය සමිති වෙනුවෙන්)
Whatsapp & Hotline - 0704444900
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va70NnR5a240DZMKpn2A
Email - techniciansunion@gmail.com
Web - www.cebtu.lk
